Cosmetic Surgery

සිරුර හැඩ කරන ප්ලාස්ටික් සැත්කම්

සිරුරේ හැඩය වෙනස් කිරීම අපට වැදගත් වන්නේ කෙසේ ද?



මිනිස් සිරුරට ආවේණික හැඩයක් ඇත. සාමාන්‍ය ස්වරූපයට වඩා මහත් වීමෙන් හෝ කෙට්ටු වීමෙන් බොහෝ දෙනා සමාජ අපහසුතාවයකට පත් වෙති. පමණට වඩා ස්ථුලවීම වෛද්‍ය විද්‍යාත්මකව ලෙඩ රෝග බොහොමයකට අත වනයි. වර්තමාන සමාජයේ විවිධ ක්‍රම මඟින් ශරීරයේ අනවශ්‍ය මේද ඉවත් කර ගැනීමට උනන්දුවක් පවතී. බොහෝ විට බොහෝ දෙනා මේ සම්බන්ධව දන්නා දෙය අල්පය. එමෙන්ම මිත්‍යා මත බොහෝ දෙනා අතර මුල් බැසගෙන ඇත.

ශරීරයේ ස්ථුලතාව හෙවත් තරබාරුකම අඩුකර ගැනීමට ඔබ දෙන වෛද්‍ය උපදෙස් මොනවාද ?


ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි කෙනකු තරබාරු වන විට සිදු වන්නේ ඔහු හෝ ඇය ගන්නා ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට් හා මේදය, දිනපතා වැය වන ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමයි.
බොහෝ දෙනා විශ්වාස කරනවා බත් ආහාරයට ගැනීම මහත් වීමට හේතු නොවන බවත් එමෙන්ම කෙට්ටු වීමට නම් මස් මාළු ආහාරයට ගැනීම අඩු කළ යුතු බව. තවද ඇතැම් යුවතියන් කෙට්ටුවීම සඳහා කැරට් ආහාරයට ගන්නවා.මේ සියල්ල වැරදි මතයන්ය.

තමාගේ බර අඩු කර ගැනීමට නම් කාබෝහයිට්‍රේට් ආහාර (අල වර්ග, බත් සහ සීනි) හැකිතාක් අඩු කර ප්‍රෝටීන් සහිත ආහාර එනම් මස්, මාලු, බිත්තර සහ එළවළු බහුලව ආහාරයට ගත යුතුයි. ඒ සම්බන්ධව වැඩිපුර උපදෙස් අවශ්‍යනම් පෝෂණවේදී වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.


vegitables

ආහාර අඩු කිරීමෙන් හෝ ආහාර රටාව වෙනස් කිරීමෙන්  පමණක් ශරීරයේ හැඩය වෙනස් කළ හැකිද ?


සැබවින්ම ආහාර රටාව වෙනස් කිරීම මෙන්ම ව්‍යායාම කිරීම ඉතා අවශ්‍යයි. එමගින් අප ගන්නා ආහාරයේ ඇති වැඩිපුර කැලරි ප්‍රමාණය දහනය වනවා පමණක් නොව මාංශපේෂි සවිමත් වීම, සන්ධි ආශ්‍රිත පටක සවිමත් වීම සහ හෘද ක්‍රියාකාරීත්වය වැඩි දියුණුවීමත් ඇතුළු ශරීර සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල ගණනාවක් කෙනකුට ලැබේ. මේ ගැන අප කොතෙකුත් අසා ඇත.


ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ශරීරයේ හැඩය වෙනස් කළ හැකි නම් ඒ සඳහා සැත්කම් කලයුතු වන්නේ ඇයි ?


ශරීරයේ හැඩය බොහෝසේ වෙනස් වී ඇති විට ආහාර පාලනය හා ව්‍යායාම මගින් පමණක් ශරීරයේ හැඩය නැවත ලබා ගැනීම අපහසුය. නිදසුනක් ලෙස ගර්භනී භාවයෙන් පසු කාන්තාවකගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් බොහෝ විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් වීමක් සිදු නොවේ. විශේෂයෙන් උදරයේ බිත්තියේ ඇති සමේ සහ මේද පටකයේ ඇදීම මෙන්ම උදරයේ ඉදිරියේ ඇති මාංශ පේශී වල ඈත්වීම යථා තත්ත්වයට පත්වීම සිදුවන්නේ බොහෝ කලාතුරකිනි. මේ නිසා උදරය ඉදිරියට නෙරා ඒමත් වැඩිපුර ඇති සම සහ මේද පටකය එල්ලා වැටීමත් සිදුවේ. එවැනි අයකු ආහාර පාලනයෙන් තවත් කෙට්ටු වුව හොත් මෙම සමෙහි එල්ලා වැටීම තවත් වැඩි වනු ඇත.

එසේම උදරයේ මාංශ පේෂි ශක්තිමත් කරන ව්‍යායාම සමහර විට මෙවැනි කෙනෙකුගේ උදරයෙ  හර්නියා (hernia ) තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතු විය හැක. විශේෂයෙන්ම ගර්භණී භාවයත් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකට පසුව මෙන්ම නිවුන් දරුවන් ලැබීමේ දී මෙවැනි තත්ත්වයන් වඩාත් සුලභව දක්නට ලැබේ.

එසේම හෝමෝන බලපෑම් මත විශාල වන පියයුරු  මව්කිරි දීම නතර කිරීමෙන් පසුව වුවද සමහරුන්ගේ  නැවත යථා තත්ත්වයට පත් නොවන අතර ආහාර පාලනය හා ව්‍යායාම කිරීම මඟින් මේ සඳහා උපකාරයක් නොවනු ඇත.

එමෙන්ම අධික ලෙස ස්ථුල භාවය ඇති කෙනෙකු විශාල ලෙස ශරීරයේ බර අඩුකර ගත හොත්  ඔවුන්ගේ ශරීරයේ සමෙහි එල්ලා වැටීමක් සිදුවේ. එවැනි තත්ත්වයක් නැවත සකස් කළ හැක්කේ සැත්කමකින් පමණ.


abo

 

ගර්භණී භාවය නිසා ඇතිවන නැවත යථා තත්ත්වයට පත් නොවන උදර බිත්තියේ වෙනස්වීම් වලට සිදු කරන  සැත්කම් මොනවාද ?




විශේෂයෙන් දරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි ගණනක ලැබූ මවකගේ උදරයේ ඉදිරි පස මාංශ පේශි ඈත්වීමක් ( Rectus muscle divarication ) සහ උදර බිත්තිය එල්ලා වැටීමක් නිසා උදරය ඉදිරියට නෙරා ඇති විට සැත්කමක් මගින් එය නැවත යථා තත්ත්වයට පත් කළ හැකිය.
එම සැත්කම් උදර බිත්තිය නැවත සැකසීම (Abdominoplasty) ලෙස  හඳුන්වනවා. මෙහි දී ඈත් වූ මාංශ පේශි නැවත සැකසීම ( Repair of  rectus muscle divarication ) වැඩිපුර ඇති එල්ලා වැටෙන සම කොටස ඉවත් කිරීම, පෙකනිය නැවත සැකසීම වැනි අදියර කීපයකින් සමන්විත වෙනවා. ඊට අමතරව වැඩිපුර ඇති මේදය මේද චුෂණ (Liposuction ) මගින් ඉවත් කර අනවශ්‍ය ලෙස උදරයේ තැන්පත්ව ඇති මේදය ඉවත් කිරීමත් සිදු කරනවා. එමගින් කාන්තාවකගේ සිරුරේ උදරය ඉන සහ නිතඹ ආශ්‍රිතව ඇති හැඩය නැවත ලබා දිය හැකියි.



සිරුරේ මහත අඩු තැන් නැවත යථා තත්ත්වයට ගත හැකිද ?

 

ඔව්, මෙය ඉතා සුලභව බටහිර රටවල සිදු වෙනවා. මේද චුෂණ (Liposuction ) මගින් ඉවත් කෙරෙන මේදය, ශරීරයේ සමහර ප්‍රදේශ වැඩිපුර පිළිබිඹු කිරීම ( Augmentation ) සඳහා යොදාගත හැකියි.
බටහිර රටවල කාන්තාවන් තමන්ට රිසි අයුරින් තම තට්ටම් ප්‍රදේශය, පියයුරු හා කකුලේ කෙණ්ඩා (claf ) ප්‍රදේශ මහත් කර ගැනීම සඳහා එන්නත් හෝ සැත්කම් කිරීමට විශාල පෙළඹීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම මුහුණේ වල ගැසුණු ප්‍රදේශ නැවත යථා තත්ත්වයට ගැනීමටද මෙම ක්‍රමය යොදාගනී.


මෙවැනි සත්කම් වල ජිවිත අවදානම් තත්ත්වයක් නැද්ද ?


අපේ සමාජයේ මේ සම්බන්ධව විශාල දුර්මත සහ බිය පවතිනවා. ඊට ප්‍රධාන හේතුව අවශ්‍ය පුහුණුව හා හැකියාව නොමැතිව වෛද්‍යවරුන් මෙම සැත්කම සිදුකිරීමට පෙළඹීමයි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඇති හිඟකමයි.


උදරයට අමතරව ශරීරයේ  වෙනත් ප්‍රදේශ මෙසේ හැඩ කල  හැකිද ?



සාමාන්‍යයෙන් ස්ථූල ශරීරයක් ඇති කාන්තාවකගේ බාහුවල ඉහළ කොටසේ සහ කලවා ප්‍රදේශවල වැඩිපුර තැන්පත් වන මේද කොටස් ඉවත් කිරීම මේ සඳහා නිදසුන්  ලෙස ගත හැකියි.
මෙහිදී මේද චුෂණ (Liposuction ) මගින් වැඩිපුර ඇති මේදය ඉවත් කිරීමත් වැඩිපුර වැඩිපුර එල්ලා වැටෙන සම ඉවත් කිරීම මෙන්ම සූක්ෂම ලෙස කැළැල් සැඟවීමත් සිදු කරයි.


Screenshot 2021-06-04 at 22.14.57
IMG_0675

පියයුරු වල හැඩය වෙනස් කරගන්න  පුලුවන්ද ?



ගර්භණී භාවය නිසා පියයුරේ හැඩය වෙනස් කිරීම, විශාලත්වය වෙනස් වීම සිදුවිය හැකියි. පියයුරු වල තාරුණ්‍යය ඇත්තේ එහි තන පුඩුව පිහිටන ස්ථානය හා එහි ශරීරය මධ්‍ය ප්‍රදේශයේ ඇති පිරුණු බව නිසාය.

පියයුරු කුඩා කිරීමේ සැත්කම ( Breast reduction ), පියයුරු ඔසවන සැත්කම (Breast lift ) මේ අතර ප්‍රධානයි. කෘත්‍රිම පියයුරු ඇතුලත් කිරීම මගින් කුඩා පියයුරු විශාලකර දැක්වීම (Breast augmentaion ) සිදු කල හැකියි.  

අවශ්‍ය නම් කලින් සඳහන් කළ අයුරින් උදරයේන් ඉවත් කරන මේදය පියයුරු වලට එන්නත් කිරීම කල හැකියි. මෙය අවදානම් සහිත බව අවම වන අතර ස්වාභාවික පියයුරු විශාල කිරීමක් ලෙස දැක්විය හැකිය.


 

ප්ලාස්ටික් සැත්කම් මඟින් ශරීරයේ හැඩය වෙනස් කිරීම සිදු කෙරෙන්නේ ස්ත්‍රී පාර්ශවයට පමණක් ද ?



උදරයේ ඇති වැඩිපුර මේදය ඉවත් කිරීම මෙන්ම විශාල වූ පියයුරු කුඩා කිරීම සඳහා පුරුෂ පක්ෂයෙන් විශාල ඉල්ලුමක් පවතී. මෙහිද මේද චුෂණ (Liposuction ) මඟින් පමණක් විශාල වූ උදරයේ අනවශ්‍ය මේද ඉවත් කිරීම කළ හැකියි. එසේම සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා වැඩුණු පියයුරු වලට ( gynecomastia) ප්‍රතිකාර කිරීම, කැළැල් නැතිව මේද චුෂණ (Liposuction ) මඟින් සිදු කරගත හැකියි. මෙවැනි සැත්කම් සඳහා යොමුවන්නේ නම් ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙස හැදින්විය හැක.


බොහෝ කාර්යබහුල දිවිපෙවතක් ඇති පුරුෂයන්ට උදරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීම ආහාර පාලනයෙන් හා ව්‍යායාම වල නිරත වීමෙන් පමණක් සිදුකර ගැනීම අසීරු කාරණයකි. මෙවැනි අවස්ථාවලදී මේද චුෂණ (Liposuction ) මගින් සිදු කෙරෙන සිරුරේ  තෙල් ඉවත් කිරීම ඔවුනට ප්‍රයෝගික විසඳුමකි.



කපා ඉවත් කිරීම සහ මේද චූෂණය වැනි ප්‍රතිකාර හැර වෙනත් ක්‍රම මගින් මේදය ඉවත් කළ හැකිද ?

 

ඔබත් මමත් දන්නා පරිදි එවැනි ක්‍රම ගැන විශාල ප්‍රචාරයක් ලබා දී මහජනතාව නොමඟ යැවීම බොහෝ විට සිදු කරන බවක්  වර්තමානයේ සුලභව දක්නට ලැබෙනවා.

වැඩිපුර මේදය තැන්පත්ව ඇති ප්‍රදේශ අධික ලෙස ශිත කිරීමෙන්  (Cool  sculpting ) සැත්කමක් නැතිව තරමක් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් තිබෙනවා. එහෙත් මේ සඳහා කිහිප වාරයක් ප්‍රතිකාර ගැනීම සඳහා සහභාගී වීමට  සිදුවන අතර ලැබෙන ප්‍රතිඵල එතරම් සතුටුදායක නැත. එමෙන්ම මේ සඳහා භාවිතා කරන යන්ත්‍ර වල මිල අධික බැවින් අපේ රටේ නම් එවැනි ප්‍රතිකර්ම සඳහා දැරිය යුතු වියදම සැත්කමක් සඳහා වන වියදමට වඩා ඉහළ අගයක් ගනු ඇත.